Friday 28 June 2024

 

ලෙප්ටොස්පයිරෝසිස්

         (මී උණ)

මීට වසර සියයකට පමණ පෙර ජපානයෙහි හා යුරෝපයෙහි විසූ කම්කරුවන් අතර මානව සිඩ්‍රෝමය වේල්ස් නමින් රෝගී තත්වයක් ඉතාමත් දරුණු ලෙස ව්‍යාප්ත වන්නට විය.එම රෝගයෙහි රෝගකාරකය ලෙප්ටොස්පිරා යන නමින් හැඳින්වීය. එතැන් පටන් ඇන්ටාටිකාව හැර සෑම මහද්වීපයකම විසූ ක්ෂීරපායි විශේෂ සියල්ලකගෙන්ම පාහේ ලෙප්ටොස්පයිර හඳුනාගැනීමට හැකිවිය. ක්‍රමයෙන් ලොව පුරාම පුළුල් ලෙස ව්‍යාප්ත වූ ලෙප්ටොස්පයිරෝසිස් නම් රෝගය වර්ෂ 1959 දී කොළඹ ප්‍රදේශයෙහි රෝගියෙකුගේ රුධිරයෙන් සොයාගැනීමත් සමඟ ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම පාහේ රෝගීන් වාර්තා වන්නට විය.

ලෙප්ටොස්පයිරෝසිස් යන නාමය ශ්‍රී  ලාංකීය ව්‍යවහාරයට ආගන්තුක වුවද මී උණ, පතල් උණ, වෙල් උණ යන නාමයන් ශ්‍රී ලාංකීය ව්‍යවහාරයට ආගන්තුක නොවේ.මී උණ රෝගී තත්ත්වයෙහි රෝග කාරකය leptospira  වන හෙයින් මෙම රෝගී තත්ත්වය ලෙප්ටොස්පයිරෝසිස් යන නාමයෙන් ද හඳුන්වනු ලැබීය. මී උණ නොහොත් ලෙප්ටොස්පයිරෝසිස් රෝගය ගෝලීය වශයෙන් නිවර්තන සහ අර්ධ නිවර්තන රටවලද ලාංකීය වශයෙන් රත්නපුර, ගාල්ල , කෑගල්ල, මාතර වැනි දිස්ත්‍රික්ක වලද ව්‍යාප්ත වීමේ දැඩි අවධානමක් පවතී. ශ්‍රී ලංකාවේ වසර පුරාම ආසාදිතයින් වාර්තා වුවද මාර්තු සිට මැයි සහ ඔක්තෝබර් සිට දෙසැම්බර් මාසය දක්වා රෝගීන් වාර්තා වීමේ වැඩි ප්‍රවණතාවයක් පෙන්නුම් කරයි. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවෙන් වාර්ෂිකව රෝගීන් 6000-8000 අතර ප්‍රමාණයක් වාර්තා වන අතර 2023 වර්ෂයේ මේ වනවිට රෝගීන් අටදාස් පන්සීයක් පමණ වාර්තා වී ඇත.

මෙම රෝගී තත්ත්වය මීයන්, ගවයන් සහ මී ගවයන් වැනි සතුන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන අතර සතුනගේ ශරීරයේ තිබෙන්නා වූ බැක්ටීරියාව, මුත්‍ර මගින් කුඹුරු, දියකඩිති, ඇළ මාර්ග, කානු , පතල් ආදියෙහි ජලයට එකතු වී මානව ශරීරයෙහි තිබෙන්නා වූ කැපීම්, සීරීම්, තුවාල හෝ ශරීර පටල (ඇස , මුඛය ) හරහා මානව ශරීරයට ඇතුල් වේ. පසුව රුධිර පද්ධතිය හරහා ශරීරයෙහි  සැම අවයවයකටම හානි සිදු කරන අතර විශේෂයෙන්ම වකුගඩු, අක්මාව, පෙනහළු සහ හෘදය ආකර්මණ්‍ය වීමට ද ඉඩකඩ ඇත. මෙලෙස විෂ බීජයට නිරාවරණය වී දින දෙකත් දාහතරත් අතර කාලයකදී අදාළ ආසාදිතයා විසින් රෝග ලක්ෂණ පෙන්නුම්  කිරීම සිදුවේ. මී උණ රෝගයෙහි රෝගී ලක්ෂණ ලෙස උණ, මස්පිඩු වේදනාව, ඇස් රතු වීම, හිස රදය , මුත්‍රා කහ පැහැ  වීම, මුත්‍ර යාම අඩු වීම, වමනය, අප්‍රාණික බව දැක්විය හැකිය. මී උණ ,  ආසාදිතයෙකුගෙන් තවත් ආසාදිතයකුට සප්‍රේෂණය වීම සිදු නොවන අතර නිසි කලට ප්‍රතිකාර නොගතහොත්  වකුගඩු ආබාධ, මෙනින්ජයිටිස් (මොළය සහ සුෂුම්නාව වටා ඇති පටලයේ ප්‍රදාහය), අක්මාව අකර්මණ්‍ය වීම, ශ්වසන සංකූලතා ඇති වීම සහ මරණයට පත්වීමට පවා ඉඩකඩ ඇත. රෝගය ආසාදනය වීමේ අවදානම ඉහළ කණ්ඩායම් අතර කුඹුරු වගුරු බිම්, ඇළ, කානු සහ පතල් ආශ්‍රිත රැකියා වල නියැලෙන   පුදගලයින්  මෙන්ම  ගං වතුර  තත්වයන් හට මුහුණ දෙන පුදගලයින් ද සිටියි.

මේ වන විටත් මී උණ ආසාදනය වළක්වා ගැනීම සඳහා වගකිව යුතු ආයතන මගින් විවිධාකාරයේ ක්‍රියා මාර්ග ගෙන ඇත. ඒ අතර, රෝගය සැදීම වැළැක්වීම සම්බන්ධයෙන්  අවදානම් කණ්ඩායම් දැනුවත් කිරීම (වී ගොවීන්), රෝග නිවාරණය සඳහා ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ කුඹුරු වැඩ ආරම්භ කිරීමට  පෙර සහ එම කාලය අතරතුර බෙදා හැරීම, මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කිරීම ආදිය වේ.

නමුත් රෝගය ආසාදනය වීම වැළැක්වීම සඳහා සාමාන්‍ය ජනතාව වෙතද කිසියම් වූ වගකීමක් ඇත. ඒ අතර,

           අවදානම්  කණ්ඩායම් රෝගය  වැලැක්වීම පිළිබඳව දැනුවත් වීම.

           මී උණ යැයි සැක  කලහැකි රෝග  ලක්ෂණ කිසිවක් ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම.

           තුවාල සීරීම් ඇත්නම් අපවිත්‍ර  ජලයට බැසීමෙන්  වැලකීම හෝ එම තුවාල ආවරණය  කර ගැනීම.

           කුඹුරු ආශ්‍රිත ව  වැඩ කටයුතු කිරීමට  ප්‍රථම රෝගය වැළැක්වීමට ලබාදෙන ප්‍රත්ජීවක ඖෂධ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරි කාර්යාලයෙන් ලබා ගැනීම සහ එම ඖෂධය නිසි කලට නිසි මාත්‍රාව ලබා ගැනීම.

           ගං වතුර  තත්වයකදී රෝග  ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර  ලබා ගැනීම.

           කුඩා දිය කඩිති (විශේෂයෙන් කුඹුරු අවට ) වල මසුන් ඇල්ලීමේදී හෝ දිය නෑමෙන් පසු රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර  ලබා ගැනීම.

           කුඹුරු සහ වෙල් , දිය කඩිති ආශ්‍රිතව ක්‍රීඩා කිරීමේදී, සරුංගල් යැවීමේදී ප්‍රවේසම් වීම සහ එවැනි ක්‍රියාකාරකමකින් පසුව උන වැලදුනහොත් වහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම.  ආදි ක්‍රියා පිළිවෙත් අනුගමනය කිරීම ඉතාමත් වැදගත්ය.

කිසියම් පුද්ගලයෙකුට ඉහත රෝගී ලක්ෂණ පවතී නම් තම ආසාදිතභාවය සැක හැර දැනගැනීම උදෙසා අවශ්‍ය පහසුකම් සහ ප්‍රතිකාර සියලු‍ම රජයේ රෝහල් සහ පුද්ගලික රෝහල් මඟින් මේ වන විටත් සලසා දී ඇත.එබැවින් වෛද්‍ය නිර්දේශ යටතේ ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ නිසි කලට නිසි වේලාවට භාවිතා කිරීමෙන් මාරාන්තික තත්ත්වයට පත් නොවී මී උණ රෝගය නිට්ටාවටම සුව කර ගත හැකිය .

        මෙම රෝගී තත්ත්වය පිළිබඳව  වැඩිදුර විස්තර දැනගැනීමට පහත වෙබ් අඩවි සහ දුරකථන මාර්ග ඔස්සේ හැකියාව පවතී.

වෙබ් අඩවිය : https://www.epid.gov.lk/

දුරකතන අංක : +94-11-2695112, +94-11-2681548


(ජායාරූපය අන්තර්ජාලය ඇසුරිනි.)

 

එච්.කේ.එස්.නවෝදා හඳරාගම

ශ්‍රී ලාංකිය ජනාධිපතිවරණයන්ට තරඟ කළ කාන්තාවෝ - 04 (1982-2024)

අජන්තා පෙරේරා වර්ෂ 1963 මැයි මස 5 වන දින හෝමාගමදී උපත ලද ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය පවුලෙහි වැඩිමල් දියණිය වූවාය. නවය ශ්‍රේණිය දක්වා විශාඛ...