Thursday, 7 May 2026

මාධ්‍ය සාක්ෂරතාවය



වර්තමාන සමාජය තුළ අපගේ ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් බවට මාධ්‍ය පත්ව ඇත. රූපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත්, අන්තර්ජාලය, ෆේස්බුක්, වට්ස්ඇප්, යූටියුබ් වැනි සමාජ මාධ්‍ය මඟින් දිනපතා විශාල තොරතුරු ප්‍රමාණයක් ලබා අප වෙත ලැබේ. මෙම තොරතුරු නිවැරදිව අවබෝධ කරගනිමින් ඒවා විමර්ශනාත්මකව භාවිත කිරීමේ හැකියාව “මාධ්‍ය සාක්ෂරතාවය” ලෙස හැඳින්වේ. සරලව පැවසුවහොත් මාධ්‍ය මඟින් ලබා දෙන පණිවිඩ තේරුම් ගැනීම, ඒවායේ සත්‍ය අසත්‍යභාවය හඳුනා ගැනීම සහ නිවැරදිව භාවිත කිරීමේ හැකියාව මාධ්‍ය සාක්ෂරතාවයයි. අද සමාජයට මෙම හැකියාව ඉතා වැදගත් අංගයක් වී ඇත.එයට හේතුව වන්නේ ව්‍යාජ පුවත්, අසත්‍ය ප්‍රචාර සහ අන්තර්ජාල වංචා වැඩි වීම නිසාවෙනි.උදාහරණයක් ලෙස, සමාජ මාධ්‍යයන්හී පළවන සෑම පුවතක්ම සත්‍ය වන්නේ නැත. ඇතැම් පුද්ගලයින් ජනතාව මුලා කිරීමට ව්‍යාජ පුවත් නිර්මාණය කරයි. එවැනි අවස්ථාවලදී මාධ්‍ය සාක්ෂරතාවය ඇති පුද්ගලයෙකු එම පුවත විශ්වාස කිරීමට පෙර එහි මූලාශ්‍රය පරීක්ෂා කරයි. වෙනත් විශ්වාසදායක මාධ්‍ය හරහාද එම තොරතුර පිළිබඳව සොයා බලයි. මේ හේතුවෙන් ඔහු හෝ ඇය වැරදි තොරතුරු වලට මුලාවීමට තිබෙන ඉඩකඩ ඇසිරී යයි.

අද තරුණ පරපුර වැඩි වශයෙන් සමාජ මාධ්‍ය භාවිත කිරීම හේතුවෙන් මාධ්‍ය සාක්ෂරතාවය ඔවුන්ට විශේෂයෙන් වැදගත් වේ. ඇතැම් විට අන්තර්ජාලයේ දක්නට ලැබෙන සියලු දේ සත්‍ය යැයි සිතා කටයුතු කිරීම නිසා ගැටලු ඇතිවිය හැකිය. විශේෂයෙන් සයිබර් හිරිහැර, අන්තර්ජාල වංචා සහ අසභ්‍ය අන්තර්ගත වලින් ආරක්ෂා වීමට මාධ්‍ය සාක්ෂරතාවය උපකාරී වේ.

එමෙන්ම මාධ්‍ය සාක්ෂරතාවය පුද්ගලයාගේ විචාරශීලී චින්තනය ද වර්ධනය කරයි. පුද්ගලයෙකු කිසියම් පණිවිඩයක් අන්ධ ලෙස පිළිගැනීම වෙනුවට, “මෙය කවුරුන් නිර්මාණය කළේද?”, “මෙහි අරමුණ කුමක්ද?”, “මෙය සත්‍යද?” යන ප්‍රශ්න විමසීමට පුරුදු වේ. මෙය සමාජයේ බුද්ධිමත් සහ වගකීම් සහිත පුරවැසියන් බිහිකිරීමට ද උපකාරී වේ.

පාසල් හා විශ්වවිද්‍යාල මට්ටමින් මාධ්‍ය සාක්ෂරතාවය පිළිබඳ දැනුවත් කිරීම ඉතාමත් වැදගත වේ. ගුරුවරුන් සහ දෙමාපියන් දරුවන්ට නිවැරදි මාධ්‍ය භාවිතය පිළිබඳ මඟපෙන්වීම ලබා දිය යුතුය. එවිට ඔවුන්ට තොරතුරු නිවැරදිව තේරුම් ගෙන, වගකීමෙන් යුතුව මාධ්‍ය භාවිත කිරීමට හැකි වේ.

අවසාන වශයෙන්, මාධ්‍ය සාක්ෂරතාවය යනු නූතන සමාජයේ අත්‍යවශ්‍ය ජීවන කුසලතාවයකි. තොරතුරු පිරුණු ලෝකයක සත්‍යය සහ අසත්‍යය වෙන්කර හඳුනා ගැනීමට එය පුද්ගලයාට උපකාරී වේ. එබැවින්, සෑම පුද්ගලයෙකුම මාධ්‍ය සාක්ෂරතාවය වර්ධනය කර ගැනීම ඉතා වැදගත් වේ.


H.K.S.නවෝදා හඳරාගම

මාධ්‍ය සාක්ෂරතාවය

වර්තමාන සමාජය තුළ අපගේ ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් බවට මාධ්‍ය පත්ව ඇත. රූපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත්, අන්තර්ජාලය, ෆේස්බුක්, වට්ස්ඇප්, යූට...