Saturday 6 July 2024

Let's Stop punishing children

 










වේවැල් කෝටු නාරං සියඹලා                            අතූ

කිතුල් පොල් ඉරටු වැල් කසඹිලියා               අතූ

මෙහැම ඉපල් මගේ දෑතට      නොපෑයුතූ

ආදරයෙන් තේරුම්  කර දීම                               යුතූ


”‍හැඳි නොගා හදන හොද්දත් ගුටි නොගහා හදන දරුවනුත් එකසේම ගුණාත්මක නොවන බවට ”‍ පැරැණි ජන ව්‍යවහාරයේ කියමනක් ඇත. එකී මුල් බැසගත් කියමන යළි යළිත් සනාථ කරනු වස් දඬුවම යන සංකල්පය  තත්කාලීන සමාජයේ  නැතිවම බැරි දෙයක් බවට  පත්වී හමාරය.නමුදු  හොඳින්  සොයා බලනවිට ප්‍රත්‍යක්ෂ වන කාරණාව නම් එම කියමන  ”‍හැඳි නොගා හදන හොද්දත් නොබලා හදන දරුවනුත් එකසේම ගුණාත්මක නොවන බවට ”‍ නිවැරදි විය යුත බවය. පරම්පරාගතව සම්ප්‍රේෂණය වෙමින් පැමිණි ඉහත කියමන  තම පහසුවට විකෘති ලෙස භාවිතා කරමින්  වැරදි මතයක් සමාජ ගත කර ඇති බව ඉන් පැහැදිලි වේ . ඉහත පිරුලෙහි ”‍නොබලා හැදීම”‍ යනු දඬුවම නොවන වඟ  වියත් පාඨක ප්‍රජාවට පුන පුනා කිව යුතු නැත. එහෙයින් සනාථ වන කාරණාව නම් දරුවන්ට දඬුවම අනුචිත බවය. නමුත් යථාර්තය නම් දඬුවම දරුවන්ට අත්‍යවශ්‍යදැයි පැනයක් නැගුවහොත් අදටත් බොහෝ දෙනාගේ පිළිතුර වනුයේ දරුවට දඩුවම අවශ්‍යයි බවය. නමුත්  1992 දී එක්සත් ජාතීන්ගේ ළමා ආරක්ෂක ප්‍රඥප්තියට අත්සන් තැබූ  රටවල් 196 අතරට ශ්‍රී ලංකාව ද අයත් බව ඔවුන් නොදන්නවා විය හැකිය. ඉන් රටවල් 134ක් පාසල තුළ ශාරීරික දණ්ඩනය මුළුමනින්ම පාහේ තහනම් කොට ඇත.එම රටවල් අතරින් රටවල් 54 ක පාසල තුළ පමණක් නොව නිවස තුළ ද සිදු වන සියලු‍ම ආකාරයේ  ආකාරයේ ළමා හිංසනයන්  සහමුලින්ම තහනම් කොට ඇත. එක්සත් ජාතීන්ගේ ළමා ආරක්ෂක පප්‍රඥප්තියට අනුව පහර දීම, පමණක් නොව දණගැස්සීම, තල්ලු‍ කිරීම, සිටුවා තැබීම මෙන්ම වාචික හිංසනය, දරුවන්ට ලැජ්ජාශීලී හැඟීමක් ජනනය වන, ඔවුන්ගේ පෞරුෂය කෙළෙසන ඕනෑම ක්‍රියාවක් හිංසනය යටතට අයත් වේ.එසේ නම් අප දරුවන්ට දඩුවම් ලබා දීමේදී සිදු කරනුයේ ද ඉහත ප්‍රඥප්තිය මඟින්  තහනම් කර වූ දෑය. දඬුවම යන්න තහනම් කළ පමණින් ඉහත රටවල් 134 තුළ  අපරාධ වැඩි වූ බවට සංඛ්‍යාත්මක වාර්තා ලැබී නොමැත..එලෙෂ ලෝකයේ බොහෝ රටවල මේ වන විට දරුවන්ට දඬුවම් කිරීම යන්න එකහෙලාම නීතියෙන්  පවා තහනම් කොට තිබෙන බවත් එම රටවල් හා සංසන්දනය කරන විට  දරුවන්ට දඬුවම් කිරීමෙන් ලාංකේය සමාජය ලක් ප්‍රගතියක් නොමැති බවත් අපහට පැහැදිලි වන කරුණකි. 

මෑතක දී වාර්තා වූ සමහර සිදුවීම් දෙස බලන විට අමානුෂික දඩුවම් හේතුවෙන්  පුංචි දරුවන් පීඩාවට පත්වූ අවස්ථා බොහෝමයක් මෙන්ම දඩුවම් කිරීම හේතුවෙන් දරුවන්ගේ  ජීවිතය පවා අහිමි වී පසුතැවීමට ලක් වූ වැඩිහිටියන් පිලිබද පුවත් ද අප හට අසන්නට දකින්නට ලැබුණි.අප දරුවන්ව සමාන කරනුයේ මල් කැකුළු වලට ය.මතු දිනෙක විකසිතව ලෝකය සුන්දර කිරීමට, සුවඳවත් කිරීමට සිටින්නාවු අනාගත පරපුර වන්නේ දරුවන්ය. යම් හෙයකින් පූදින්නටත් පෙර මල් කැකුළක් තළා පෙළා දැමුවහොත් එයට විකසිත වීමට හැකියාවක් නැත.එතැන් පටන් නිර්මාණය වන්නේ අසුන්දර ලෝකයකි. දඩුවම හේතුවෙන් දරුවාට සිදුවන බලපෑම සහ ඒ හේතුවෙන් අනාගතයට සිදුවන බලපෑම ද ඒ හා සමාන ය.එබැවින් දඩුවම යන වචනය පවා දරුවාගේ සවන වැකීම පවා අයෝග්‍ය වන පුංචි මනසට පීඩාවක් ගෙන දෙන ඉතාමත් රළු වචනයක් බව සඳහන් කළ යුතුය.

අප දරුවන්ට දඬුවම් කිරීමෙන්   බලාපොරොත්තු වන්නේ, වැරඳි නිවැරදි කිරීම හෝ  යහමගට පත් කිරීම ය. දරුවන් යහමගට පත් කිරීම යනු හික්මවීම පමණක් නොවන අතර දරුවකුගේ චර්යාව හික්මවීමක් සහිතව ගොඩනැංවීමට නම් දරුවාට මනා පෞරුෂයක් ද තිබිය යුතුය.නමුත් දඬුවම හේතුවෙන් සිදුවන්නේ වේගවත් සංවර්ධන අවධියක පසුවන දරුවාගේ කායික මානසික පෞරුෂය දුර්වල වීමය. දරුවන් යහමගට ගැනීමට යැයි සිතමින් ඔවුනගේ පෞරුෂ වර්ධනයට බාධා එල්ල කරන්නේ නම් වැඩිහිටියන් ගුරුවරුන් දඬුවම මගින් බලාපොරොත්තු වන්නාවූ කාර්යය ඉටු නොවේ. මන්දයත්   දඬුවම් දීමෙන් සිදු වන්නේ දරුවන් දඬුවමට බියෙන් තමන්ගේ වැරදි චර්යාව මතුපිටින් වැඩ පවත්වාගෙන සිටීමයි. නමුත් ඔවුන් සිදුකළ වැරැද්දෙහි බරපතළකම ඔවුන්ට වැටහෙන්නේ  නැත. වැරැද්දට පොලඹවන  ආකල්පය දරුවන් තුළ  ඒ ආකාරයෙන්ම පවතී.එයට හේතුව වන්නේ  දරුවෙකුට තමා කරන ක්‍රියාවක වැරදි නිවැරදිභාවය කිසිවිටකත් තනිව තෝරා බේරා ගැනීමට නොහැකි නිසාවෙනි. 

දරුවන් උපතින් වැරදි චර්යාවන්ට හුරුවන්නේ නැත.ඔහු හෝ ඇය හැදී වැඩෙන සමාජයේ අසන්නට දකින්නට ලැබෙන අත්දැකීම් ඔස්සේ සමාජානුයෝජනය වීම දරුවාගේ පුරුද්දකි. එසේ නම් දරුවන් අත්දැකීම් ලබා ගන්නේ කාගෙන්ද ? දෙමව්පිය වැඩිහිටි ගුරු දෙගුරුන් ගෙන් නොවේද? දරුවන්  හික්මවීම සඳහා දඬුවම උචිත නම් දරුවන් එම අත්දැකීම් ලබා ගත් සමාජ වටපිටාවේ පුද්ගලයින්ට මුලින්ම දඬුවම් කළ යුතු නොවේ ද?. සමාජය පවසන තරමටම දඬුවම සාර්ථක නම් ඔබ දරුවා හට  කුඩා කළ සිට මේ දක්වා ලබාදුන් නේකවිධ දඬුවම් හා සංසන්දනය කර බලන විට ඔහු හෝ ඇය මේ වන විට කිසිදු වැරැද්දක් නොකරන, හොඳ නරක තෝරා බේරා කටයුතු කරන දරුවෙක් වී සිටිය යුතු නෙවේද? අප සැබවින්ම දරුවෙකුගේ වැරදි චර්යාවක් දෙස බලන විට පෙනී යන්නේ එය වැරදි චර්යාවක් නොව දරුවාට වැරදුණු චර්යාවක් බවයි.මන්දයත් දරුවා යනු මෙලොවට අලු‍ත් ජීවියෙකි.ඔවුන් තම ජීවත්වන සමාජයෙන් ඕනෑම ආකාරයෙහි ආකාරයේ අත්දැකීමක් උකහා ගනියි. එහි හරි වැරදි භාවය හොඳ නරක නොදන්නා දරුවා එය එදිනෙදා ජීවිතයේදී භාවිතා කරයි. එනම් එම අවස්ථාවේදී තමන් කළ යුත්තේ කුමක්ද හැසිරිය යුත්තේ කුමන ආකාරයකටද  යන්න තෝරා බේරා ගැනීමට දරුවාට නොහැකි  වීම හේතුවෙන් දරුවා ගත් තීරණයක සෘණාත්මක පැතිකඩකි. මේ හේතුවෙන් සෑම විටම  විටම දරුවකු වැරැද්දක් කළ විට එය වැරදි චර්යාවක් නොව දරුවාට වැරදුණු චර්යාවක් ලෙස සිතා බලා තීරණ ගැනීම දෙමාපිය වැඩිහිටි ගුරුවරුන්ගේ වගකීමක් වේ. ඔබ අප සැම විටම ප්‍රිය වන්නේ ඕනෑම කර්තව්‍යයක් ධනාත්මක ආකාරයෙන් අවසන් වීමට ය . එසේනම් දරුවෙකුගෙ වැරදි චර්යාවෙහි අවසාන ඵලය දඬුවම වැනි ඍනාත්මක දෙයක් වීම පිළිබඳව අප දෙවල් දෙවරක් සිතා බැලිය යුතුය.

එබැවින් දඬුවම වෙනුවට චර්යා නිවැරදි කිරීම  සුදුසුම ක්‍රමය බව මනෝවිද්‍යා උපදේශකවරුන් පවා පවසා ඇත.චර්යා නිවැරදි කිරීමේ දී සිදු වන්නේ , දරුවක් සිදු කළ වැරැද්ද පිළිබඳව ඔහුට හෝ ඇයට වැටහීමක් ලබා දී වැරදි චර්යාවෙන් දරුවා මුදවා ගනිමින් නිවැරදි චර්යාව කුමක්ද යැයි දරුවාට වටහා දීම ය. දරුවා යනු කුඩා කල සිටම සියල්ල ම වටහා ගැනීමට තරම් මානසික ශක්තියක් හිමි ජීවියෙක් බැවින් එම වටහා දීමේ කාර්යය  වුවද ඉතාමත් බුද්ධිමත් සහ විශ්වාසනීය  ආකාරයෙන් සිදුකළ යුතුය.එලෙස  නිවැරදි කළ හැකි ක්‍රම අතර මතක් කර දීම, අවවාද කිරීම, සමාව අයදීම, තහනම් කිරීමක් පැනවීම, කෝපය නිවෙන තුරු හුදෙකලාව සිටීමට සැලැස්වීම, යම් තැනකට වී හුදෙකලා ව තමා කළ ක්‍රියාව මෙනෙහි කිරීමට සැලැස්වීම, නැවැත එවැන්නක් සිදු නොකිරීමට පොරොන්දු කර ගැනීම, තාවකාලික වරප්‍රසාදයක් අහිමි කිරීම, ආදිය ඇතුලත් වේ. 

ඉතිහාසය පිරික්සා බලන විට දඬුවම යන්න ශ්‍රී ලාංකික සමාජයට අයත් කාරණාවක් නොවන බව සෙල්ලිපිවල සඳහන් වන ආකාරයට පැහැදිලි වේ. එනම්  දෙවන විජයබාහු ,වෝහාරිකතිස්ස වැනි රජවරු පඬිවරුන්ට උපදෙස් ලබා ලබාදී ඇත්තේ රාජකීය දරුවන්ට දඬුවම් ලබා නොදීම උචිත බවටය. එලෙස බලන කල විද්‍යාව තාක්ෂණය ආදී සෑම අංශයකින්ම මෙතරම් දියුනුවට පත් ලෝකයක ජීවත්වන අපගේ චින්තනය කොතරම් ප්‍රාථමික මට්ටමක පවතින්නේ දැයි පැහැදිලි වේ.මෙහිදී අප දතයුතු කාරණාවක් නම් අප බටහිර ආධිපත්‍යයට නතු වී සිටි යුගයෙහි බටහිර ජාතීන් විසින් ශ්‍රී ලාංකිකයින් තලා පෙලා පීඩාවට පත් කිරීමට කස පහර ලබාදීම වේවැල් පහර දණගැස්සීම ආදී දඬුවම් ක්‍රම භාවිතා කොට ඇති බවය. එලෙස වෙනත් සංස්කෘතියක් තුළ තිබූ පීඩාකාරී පිළිවෙතක් ලාංකීය සංස්කෘතිය තුළ රෝපණය කොට ගෙන එයට ජලය පොහොර දැමීම ශ්‍රී ලාංකිකයින් වශයෙන් ලැජ්ජා විය යුතු කාරණාවකි. මන්ද යත් බටහිර ජාතීන් විසින් ශ්‍රී ලාංකිකයන්ගේ ස්වාධීනත්වය කෙළෙසමින් ඔවුනගේ පෞර්ෂත්වය හීන කරවමින් සදාකාලික වහල් ජාතියක් ලෙසට සිංහල ජාතිය තබා ගැනීමට ගත් දඬුවම , අප අපගේ අනාගත පරපුරෙහි විනාශය කරා යෙදවීම නිසාවෙනි. එබැවින් එම සාම්ප්‍රදායික මානසිකත්වයෙන් මිදී නවමු ඇසකින් දරුවන් දෙස බලා පුංචි මල් කැකුළු තලාපෙළා රිදවීමට පෙර දෙවරක් සිතා බැලීම වැඩිහිටි ගුරු දෙගුරුන්ගේ වගකීමකි.

(ජායාරූප අන්තර්ජාලය ඇසුරිනි)


එච් . කේ . එස් නවෝදා හඳරාගම


No comments:

Post a Comment

ශ්‍රී ලාංකිය ජනාධිපතිවරණයන්ට තරඟ කළ කාන්තාවෝ - 04 (1982-2024)

අජන්තා පෙරේරා වර්ෂ 1963 මැයි මස 5 වන දින හෝමාගමදී උපත ලද ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය පවුලෙහි වැඩිමල් දියණිය වූවාය. නවය ශ්‍රේණිය දක්වා විශාඛ...