විවාහ නොවූ සියල්ලන්ම ගැහැණු දරුවන් වශයෙන් සැලකේ. ගැහැණු දරුවෙකු කියූ සැණින් අප සිතට නැගෙනුයේ විශාල වගකීමක් උරමත පැටවූවා වැනි හැඟීමකි. මන්දයත් ඇය සියුමැලි මලක් වැනියැයි ලියැවී තිබීමය. ඉතාමත් පහසුවෙන් තලා පෙළා විනාශ කර දැමීමට හැකිවීමය.එබැවින් ගැහැණු දරුවෙකු මෙලොව එළිය දුටු දා සිට දෙමාපියන් සිය දෑස මෙන් ඇයව ආරක්‍ෂා කරනුලබයි. මතු දිනෙක උතුම් වූ මව් පදවිය දරමින් මෙලොව ජීවය පවත්වාගෙන යාමේ මුල් පුරුක වන්නේද ඇයයි. එබැවින් ඇයට ගරු කරනුවස් සෑම වසරකම ඔක්තෝම්බර් මස 11 වන දින ජාත්‍යන්තර ගැහැණු දරුවන්ගේ දිනය සමරනු ලැබේ.මෙවර එහි තේමාව වනුයේ, "The girl I am, the change I lead: Girls on the frontlines of crisis" යන්න වේ.
එම දිනයේදී ලොව පුරා වෙසෙන ගැහැණු දරුවන්ගේ අයිතිවාසිකම්, ඔවුන්ට අත්විඳීමට සිදුවන පීඩාකාරී තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීම, ගැහැණු දරුවන් සවි බලගැන්වීම,ඔවුනගේ ආරක්ෂාව වෙනුවෙන් හඬ නැගීම සිදුවේ. 2011 වසරෙහි නිව්යෝර්ක් නුවර පැවති කාන්තාවන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි පනස් පස් වැනි සභා වාරයේදී සම්මත වූ යෝජනාවකට අනුව සෑම වසරකම ඔක්තෝම්බර් 11 වන දින ජාත්‍යන්තර ගැහැණු ළමයින්ගේ දිනය සමරනු ලැබේ. 2012 වර්ෂයේදී ආරම්භ වූ මෙම සැමරීම අද දක්වාම අඛණ්ඩවම පවත්වාගෙන එනු ලැබේ.
මුල් කාලීනව සමාජයෙහි ගැහැණු දරුවෙකු ඉපදීම පවා සමාජයෙහි ගැහැණු දරුවෙකු ඉපදීම පවා ලෙස සැලකූ අතර උපතේදීම මරා දැමීමට කටයුතු කොට ඇත.ඇගේ නුවණ හැඳිමිටේ බවත් ඇයට උරුම මුළුතැන්ගේ බවත් ස්වාමියාගේ ලිංගික ආශාවන් තෘප්ත කිරීමට ලිංගික භාණ්ඩයක් වශයෙන් ඇය භාවිතා කළයුතු බවත් පැරැන්නන්ගේ මතය.
සමාජය ක්‍රම ක්‍රමයෙන් දියුණු වීමත් සමඟ ගැහැණු දරුවන් වෙනුවෙන් හඬ නැගීම උදෙසා කාන්තා පිරිමි දෙපාර්ශ්වයම විවිධ සංවිධාන පිහිටුවා ගන්නා ලදී. ඒ කෙසේ වුවද, ඔසප් දරිද්‍රතාවය,අන්තර්ජාලය හරහා සිඳුවන තාඩන පීඩන, සුන්නත්කරණය, සති පූජාව, පතිවත සෙවීම, කන්‍යාභාවය සෙවීම, දෑවැදී, බාල වයස්කාර විවාහ,සුන්නත්කරණය ආදී විවිධ හා වූ සමාජ සම්මතයන් ඔස්සේ ද ගැහැණු දරුවන් දැඩි ලෙස පීඩාවට පත්වේ. මෙතරම් දියුණු සමාජයක් තුළ වුවද එවැනි හණමිටි අදහස් හේතුවෙන් හුදෙක් ගැහැණු දරුවන් පමණක් පීඩාවට පත්වීම දැඩි අසාධාරණ තත්ත්වයකි. මේ පිළිබඳව ගෝලීය වශයෙන් සාකච්ඡා කිරීම ඉතාමත් වැදගත් වේ.නමුත් එය එක් දිනකට පමණක් සීමා නොවිය යුතු කාරණාවක් බව පැවසිය යුතුමය.
මේ ආකාරයට විවිධ සමාජ සංස්කෘතික සාධක හේතුවෙන් ගැහැණු දරුවන් තාඩන පීඩනවලට ලක්වීම බටහිර සහ පෙරදිග යන භේදයකින් තොරව ලෝකය පුරාම සිදුවන බව පැහැදිලි වේ. ගැහැණු දරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ කතාබහ කිරීමට විවිධ ක්‍රියාකාරී සංවිධානය සහ පුද්ගලයින් කටයුතු කොට ඇත. නමුත් ගැහැණු දරුවන්ට සිදුවන අකටයුතුකම් හි අඩුවක්නම් දක්නට නොමැත.එබැවින් එක් දිනකට පමණක් සීමා නොවී වසරේ දින 365 පුරාවටම සක්‍රීය ලෙස ක්‍රියාත්මක වන වැඩ පිළිවෙලක් බවට පත් කිරීම අප සියල්ලන්ගේ වගකීමකි.
එච්.කේ.එස්.නවෝදා හඳරාගම
No comments:
Post a Comment