Saturday 7 September 2024

ශ්‍රී ලාංකිය ජනාධිපතිවරණයන්ට තරඟ කළ කාන්තාවෝ - 04 (1982-2024)

අජන්තා පෙරේරා

වර්ෂ 1963 මැයි මස 5 වන දින හෝමාගමදී උපත ලද ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය පවුලෙහි වැඩිමල් දියණිය වූවාය. නවය ශ්‍රේණිය දක්වා විශාඛා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඇයට තානාපතිවරයකු වූ පියාගේ ස්ථාන මාරුවත් සමඟ ඉන්දියාවට යාමට සිදුවිය. පසුව චෙන්නායිහි ගුඩ්ෂෙපර්ඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඇය උසස් අධ්‍යාපන කටයුතු එංගලන්තයෙහි විශ්වවිද්‍යාලයකින් සිදු කරන ලදි. එහිදී ජීව රසායනික විද්‍යාව සහ කායික විද්‍යාව පිළිබඳ උපාධිධාරිනියක ලෙස ලංකාවට පැමිණි අජන්තා පෙරේරා මහත්මිය කැලණිය විශ්වවිද්‍යාලයෙහි සහාය කථිකාචාර්යවරියක් ලෙස සහ කොළඹ විශ්වවිද්‍යාලයෙහි ජීව විද්‍යා අධ්‍යයන අංශයෙහි සහාය කතිකාචාර්යවරියක් ලෙස කටයුතු කරන ලදි. විවාහයෙන් පසු ශිෂ්‍යත්වයක් ලබාගෙන ජර්මනිය බලා පිටත් වූ ඇය පරිසරය පිළිබඳ පශ්චාත් උපාධිය සහ ආචාර්ය උපාධිය සම්පූර්ණ කරනු ලැබුවාය. 1992දී පෙරළා සිය මවුරටට පැමිණි ඇය, ශ්‍රී ලංකාවෙහි කසළ ගැටලුව පිළිබඳව කතිකාවතක් සමාජය තුළ නිර්මාණය කරන්නට සමත් විය. එහිදී Recycle යන ඉංග්‍රීසි යෙදුමෙහි සිංහල යෙදුම වන ප්‍රතිචක්‍රීකරණය යන වචනය සොයාගැනීමේ ගෞරවය හිමිකර ගැනීමට ඇය සමත් විය. මේ අතරතුර කාලයේදී ඇය කොළඹ විශ්වවිද්‍යාලයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස වැඩ කටයුතු කළ අතර, ඇගේ සමාජයීය කටයුතු හේතුවෙන් විවිධ වූ වාරණය කිරීම්වලට ලක් වීමටද ඇයට සිදුවිය. කැළි කසළ ගැටලුව පිළිබඳව ක්‍රියාකාරී සාමාජිකාවක් වූ ඇය නිරන්තරයෙන්ම නගර සභා ප්‍රාදේශීය සභා සමඟ එක්වී කටයුතු කළ තැනැත්තියකි. මෙලෙස දේශපාලනික ධූරාවලියෙහි විවිධ මට්ටම්වල ආයතන සමඟ ගැටුණද පක්ෂ දේශපාලනය කෙරෙහි උනන්දුවක් නොදැක්වූ ඇය දිගින් දිගටම පාරිසරික ක්‍රියාකාරිනියක් ලෙස කටයුතු කළාය. කොළඹ විශ්වවිද්‍යාලයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධුරයෙන් ඉල්ලා අස්වූ ඇය ධීවර අමාත්‍යාංශයෙහි ධීවර නිවාස සකසන ව්‍යාපෘතියෙහි ව්‍යාපෘති අධ්‍යක්ෂ ලෙස තේරී පත්විය. සිය ධුර කාලය තුළ ධීවර නිවාස 23 000ක් පමණ සැකසීමට ඇය කටයුතු කළාය. චම්පික රණවක මහතා පාරිසරික අමාත්‍ය ධුරය දරන කාලයේ දී ඔහුගේ ඉල්ලීමක් මත පාරිසරික අමාත්‍යතුමන්ගේ උපදේශිකාව ලෙස කටයුතු කිරීමටද ඇයට වරම් හිමි විය. මෙලෙස වක්‍රාකාරයෙන් දේශපාලනයත් සමඟ ගැටුණු ඇය, නැවත වසර පහක පමණ කාලයක් විදෙස් විශ්වවිද්‍යාලයක මහාචාර්යවරියක් ලෙස කටයුතු කළාය. 2018 වර්ෂයේදී නිවාඩුවක් ගත කිරීමට ලංකාවට පැමිණි ඇයගේ අවධානය යොමු වූයේ එකල පාර්ලිමේන්තුව තුළ උද්ගතව තිබූ අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳවය. ඒ වන විටත් රටට, ජනතාවට සේවය කිරීමේ තදබල ආශාවක් ඇගේ සිත තුළ මෝදු වෙමින් පැවතුණි. එවැනි කාලවකවානුවකදී ඇගේ දියණිය විසින් සිදු කළ ඉල්ලීමෙහි ප්‍රතිඵලයක් ලෙස අජන්තා පෙරේරා මහත්මිය 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. මේ ආකාරයට ශ්‍රී ලාංකේය සමාජවාදී පක්ෂයෙන් සිය දේශපාලන ජීවිතයට අත්පොත් තැබූ ඇය වසර විස්සකට පසු ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූ එකම කාන්තා නියෝජනය ලෙස ඉතිහාසගත විය.

නමුත් දිගින් දිගටම ක්‍රියාකාරී දේශපාලනයේ යෙදුණු ඇය වරක් පර්ල් එක්ස්ප්‍රස් නෞකාව ආශ්‍රිතව සිදුවන පාරිසරික විනාශය පිළිබඳව සිය හඬ අවදි කළාය. ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙහි නඩුවක් ගොනු කර ඇය ප්‍රබල දේශපාලනඥයින් සමඟ පවා කරට කර ගැටෙමින් ක්‍රියා කරන ලදි. ඒ සමඟම කරළියට පැමිණි "අරගලය" හමුවේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වුණු ඇය ස්වාධීන දේශපාලන ජීවිතයකට අවතීර්ණ විය.


ජායාරූප අන්තර්ජාලය ඇසුරිනි.

එච්.කේ.එස්.නවෝදා හඳරාගම 

No comments:

Post a Comment

ශ්‍රී ලාංකිය ජනාධිපතිවරණයන්ට තරඟ කළ කාන්තාවෝ - 04 (1982-2024)

අජන්තා පෙරේරා වර්ෂ 1963 මැයි මස 5 වන දින හෝමාගමදී උපත ලද ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය පවුලෙහි වැඩිමල් දියණිය වූවාය. නවය ශ්‍රේණිය දක්වා විශාඛ...