Saturday, 7 September 2024

ශ්‍රී ලාංකිය ජනාධිපතිවරණයන්ට තරඟ කළ කාන්තාවෝ-01 (1982-2024)

 සිරිමාවෝ බණ්ඩාරනායක

සිරිමාවෝ රත්වත්තේ, වර්ෂ 1916 අප්‍රේල් මස 17 වන දින මහනුවර බාන්ස් රත්වත්තේ දිසාවට සහ මහවෙලතැන්න වලව්වේ රොසලින් මහවෙලතැන්න කුමාරිහාමිට දාව වැඩිමහල් දියණිය ලෙස උපත ලැබුවාය. බළන්ගොඩ පහළ බාලාංශයෙන් මූලික අධ්‍යාපන ලැබ රත්නපුරයේ ෆර්ගියුසන් උසස් පාසලට ඇතුළත් වී ඉන් අනතුරුව කොළඹ ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමයෙන් අධ්‍යාපනය ලැබූ ඇය වර්ෂ 1940දී සොලමන් ඩයස් බණ්ඩාරනායක සමඟ යුග දිවියට එළඹියාය. දේශපාලන ජීවිතයට අත්පොත් තැබීමට පෙර සිටම ලංකා මහිලා සංගමයත් සමඟ එක්ව සමාජ සේවා කටයුතු සිදු කළ තැනැත්තියක් ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හැඳින්වීම නිවැරදිය. දේශපාලනික වශයෙන් කාර්යබහුල ජීවිතයක් ගත කළ ඇගේ සැමියා අග්‍රාමාත්‍ය ධුරයෙහි දිවුරුම් දීමට මත්තෙන් වෙඩි පහරකින් මියයන ලදි. ඔහුගේ අභාවයත් සමඟ අර්බුදයට යමින් තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි නායකත්වය සියතට ගත් ඇය දේශපාලන පක්ෂයක ප්‍රථම නායිකාව වශයෙන් ඉතිහාසගත විය.

1960 මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලත් ජයග්‍රහණයත් සමඟ 1960 ජූලි මස 21 වන දින ලොව ප්‍රථම අගමැතිනිය වීමේ භාග්‍ය හිමි කර ගැනීමට ඇය සමත් විය. එසේ පළමු ධුර කාලය තුළ පොදුරාජ්‍ය මණ්ඩලයීය සම්මේලනයට සහභාගි වීමට වරම් ලත් ඇය පොදුරාජ්‍ය මණ්ඩලයීය සමුළුවකට සහභාගි වූ ප්‍රථම රාජ්‍ය නායිකාව වීමේ අවස්ථාව ද හිමි කර ගත්තාය.

පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය සහ කොමියුනිට්ස් පක්ෂය හා එක්සත් පෙරමුණෙහි නායකත්වය ද සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් හෙබවීය. 1970 මැයි 21 වන දින පැවැති මහ මැතිවරණයෙන් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට මැතිනියට හැකි විය.

සිය දෙවන ධුර කාලය තුළ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාව ඉදිකිරීම ඇරඹීම, ආර්ථික ස්වාධීනත්වය සහ ආර්ථික වර්ධනය අරමුණු කරගත් පස් අවුරුදු සැලැස්මක් ඉදිරිපත් කිරීම, රාජ්‍ය චිත්‍රපට සංස්ථාව ස්ථාපිත කිරීම ඇතුළු බොහෝ කාර්යයන් ඇය විසින් ඉටු කරන ලදි. 1977දී ලද පරාජයත් සමඟ ප්‍රජා අයිතිය පවා අහිමි වූ ඇය 1994 වර්ෂයේදී සිය දියණිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ ජයග්‍රහණයත් සමඟ නැවත අග්‍රාමාත්‍ය ධුරයට පත් විය. 2000 වර්ෂයේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 2000 ඔක්තෝබර් මස 10 වැනි දින මෙලොවින් සමුගත්තාය.


ජායාරූප අන්‍තර්ජාලය ඇසුරිනි.

එච්.කේ.එස්.නවෝදා හඳරාගම


No comments:

Post a Comment

Stop World War

  Throughout history, wars have shaped the destiny of nations, but they have also brought unimaginable suffering to humanity. From the devas...