Saturday 7 September 2024

ශ්‍රී ලාංකිය ජනාධිපතිවරණයන්ට තරඟ කළ කාන්තාවෝ - 02 (1982-2024)


චන්ද්‍රිකා බණ්ඩාරනායක
කුමාරතුංග

1945 ජූනි මස 29 වැනි දින උපත ලද චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සහ සොලමන් ඩයස් බණ්ඩාරනායක මහතාගේ දියණියක වූවාය. කුඩා කල සිටම දේශපාලනික පරිසරයක හැදී වැඩුණු ඇය පරම්පරාවෙන් ලත් දේශපාලනික පන්නරයෙන් දේශපාලන ගමනට ආභාෂය ලැබීය.

සිය මවගේ ඉල්ලීම පරිදි, 1970හි බලයට පත්වූ සමගි පෙරමුණ රජයෙහි කෘෂිකර්ම සංවර්ධන ඉඩම් අමාත්‍ය හෙක්ටර් කොබ්බෑකඩුව මහතා විසින් පත් කරන ලද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ අධ්‍යක්ෂවරිය ලෙස සේවය කළාය. එය ඇගේ දේශපාලන ජීවිතයෙහි මූලික පියවර ලෙස හැඳින්වීම නිවැරදිය. පසුව 1970 ලෝක ආහාර සංවිධානයෙහි උපදේශකවරියක් ලෙස සේවය කිරීමටද ඇයට වරම් හිමි විය. ජනප්‍රිය නළු විජය කුමාරතුංගයන් සමඟ විවාහ දිවියට එළඹි ඇය, ජනහිතකාමී දේශපාලනයක් උදෙසා සිය සැමියා සමඟ එක්වී බොහෝ සේවාවන් සිදු කළ තැනැත්තියකි. වර්ෂ 1988දී සිදුවූ සිය සැමියාගේ ඝාතනයත් සමඟ දැඩි ලෙස කම්පාවට පත්වූ ඇයගේ දේශපාලන දිවිය සමාප්ත කරනට එම සිදුවීමට නොහැකි විය.

අනතුරුව 1994 වර්ෂයෙහි පැවති මැතිවරණයෙන් බස්නාහිර පළාත් සභාවේ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරිය වීමේ වරම හිමි කර ගත්තාය. එහිදී බස්නාහිර පළාතෙහි සමාජ, ආර්ථික, දේශපාලනික, නෛතික ආදී සෑම පැතිකඩක්ම සංවර්ධනය කිරීමට ඇගේ ධුර කාලය වැය කෙරිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායිකාව ලෙස 1994 මහ මැතිවරණයට ඉදිරිපත් වූ ඇය ඉන් ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවේ දෙවෙනි අගමැතිවරිය බවට පත්විය. එම වසරෙහිම නොවැම්බර් මස 12 වැනි දින පැවති ජනාධිපතිවරණයෙන්ද ජය ලැබූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ප්‍රථමවරට විධායක ජනාධිපති ධුරයෙහි දිවුරුම් දුන්නාය.

එවකට රට තුළ උද්ගතව තිබූ ප්‍රබල ගැටලුවක් වන ජනවාර්ගික ගැටලුවට විවිධාකාරයෙන් විසඳුම් සෙවීමට උත්සාහ ගත් ඇය අවසානයෙහි කොටි ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්ව අනූනවයෙන් ජීවිතය ගලවා ගැනීමට සමත් විය. ප්‍රහාරයට ලක් වන විටද ඇය 1999 ජනාධිපතිවරණයට අපේක්ෂිකාවක් ලෙස තරග වදිමින් සිටි අතර, ජනාධිපතිවරණයෙහි ජයග්‍රහණය ද තමා වෙතට හරවා ගැනීමට ඇය සමත් විය.

2001 එක්සත් ජනතා නිදහස් සන්ධානය ලත් පරාජයත් සමඟ ඇය ජනාධිපති ධුරයෙහි සිටින අතරතුරම පාර්ලිමේන්තුවෙහි බලය ලබා ගැනීමට විපක්ෂයට හැකි විය. 2004 අප්‍රේල් මස පැවැති මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ ද උදව් උපකාර සහිතව මහින්ද රාජපක්ෂ අගමැතිතුමා යටතෙහි තම ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට කුමාරතුංග මැතිනියට හැකියාව ලැබිණි. 2005 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ කුමාරතුංගවරුන්ගේ පාලනය එලෙස අවසන් විය.

නමුත් දිගින් දිගටම රටෙහි දේශපාලනික සිදුවීම් ආශ්‍රිතව පුවත් මවන්නට සමත් ප්‍රබල දේශපාලනික කාන්තා ප්‍රතිරූපයක් වශයෙන් අදටත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය හැඳින්විය හැකිය.


ජායාරූප අන්තර්ජාලය ඇසුරෙනි.

එච්.කේ.එස්.නවෝදා හඳරාගම

No comments:

Post a Comment

ශ්‍රී ලාංකිය ජනාධිපතිවරණයන්ට තරඟ කළ කාන්තාවෝ - 04 (1982-2024)

අජන්තා පෙරේරා වර්ෂ 1963 මැයි මස 5 වන දින හෝමාගමදී උපත ලද ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය පවුලෙහි වැඩිමල් දියණිය වූවාය. නවය ශ්‍රේණිය දක්වා විශාඛ...