Tuesday, 30 September 2025

මාර්ග අනතුරු




 

            අනතුරු වළකමු - ජීවිත සුරකිමු


මේ දිනවල සුලභව කතිකාවතට ලක්වන්නා වූ මාතෘකාවක් වශයෙන් මාර්ග අනතුරු හැඳින්විය හැකිය.ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මාර්ග ආරක්‍ෂාව ගෝලීය මට්ටමේ ගැටලුවක් බවට පත්වී ඇත. ශ්‍රී ලංකා පොලිසියට අනුව දිනකට ශ්‍රී ලංකාව තුළ මාර්ග අනතුරු 64 ක් පමණ සිදුවේ. එසේම ශ්‍රී ලංකාවෙහි රිය අනතුරු හේතුවෙන් සෑම පැය හතරකට වරක්ම ජීවිතයක් අහිමි වේ.  රිය අනතුරු හේතුවෙන් වසරකට ජීවිත විශාල ප්‍රමාණයක් අහිමිවන බව සමීක්ෂණයන්ගෙන් තහවුරු වී ඇත.ඒ බව මෑතකදී අසන්නට දකින්නට ලැබුණු  සිදුවීම් වලින්ද පැහැදිලි වේ. කොතෙක් මාර්ග අනතුරු සිදු වුවද ඒවා පාලනය කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් නොමැතිවීම දුර්වලතාවයකි.එබැවින් මාර්ග අනතුරු වැළැක්වීමට පහත ක්‍රියාමාර්ග ගත හැකිය.

ධාවනයට එක් වන්නා වූ රථ වාහන තරමට මාර්ග පුළුල් කිරීම, ප්‍රමිතියකින් යුතු මාර්ග ඉදි කිරීම, මාර්ගවලට ඔරොත්තු දෙන්නා වූ වාහන ධාවනය කිරීම, විනයානුකූල රථ වාහන ධාවනයක් රියදුරන්ට හඳුන්වාදීම, මහා මාර්ග නීති දැඩි කිරීම, රථ වාහන අනතුරු ආශ්‍රිත අධ්‍යානයන් සිදුකොට වාර්තා ඉදිරිපත් කිරීම, මහා මාර්ග නඩත්තුව පිළිබඳව අවධානය යොමු කිරීම ඒ අතරින් ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයකි.

රජය පමණක් නොව පදිකයින් සහ රියදුරන් වන අපත් මේ පිළිබඳව අවධානය යොමු කොට මාර්ග අනතුරු අවම කර ගැනීමට කටයුතු කළ යුතුය.


එච්.කේ.එස්.නවෝදා හඳරාගම

Thursday, 25 September 2025

සඳ ගමනේ සැඟවුණු සඳ-ක්‍රියෝලා කැත්‍රීන් ජෝන්සන්


වර්ෂ 1918 අගෝස්තු මස 26 වන දින බටහිර වර්ජිනියාවේ වයිට් සල්ෆර් ස්ප්‍රින්ග් හී උපත ලැබූ ක්‍රියෝලා කැත්‍රීන් ජෝන්සන් දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා විය. ඇගේ මව සහ පියා ජොයිලට් රොබර්ට් සහ ජෝෂුවා කෝල්මන් නම්විය.මව ගුරුවරියක වූ අතර පියා දර කපන්නෙක්,ගොවියෙක් අත්කම්කරුවෙක් විය. පුංචි කැත්‍රීරින් කුඩා කල සිටම ඉගෙනීමට දස්කම් දැක්වූ අතර ගණිත විෂයෙහි අති දක්ෂ ශිෂ්‍යාවක් විය. වයස අවුරුදු 14 දී උසස් පාසලෙන් උපාධිය සම්පූර්ණ කොට කළු ජාතිකයින්ට වෙන් වූ විද්‍යාලයක් වන WVSC වෙත ඇතුල් විය. විද්‍යාලයෙන් පිරිනමන්නා වූ සෑම ගණිත පාඨමාලාවක් ම හැදෑරූ ඇය එම සෑම පාඨමාලාවකින්ම කැපී පෙනෙන දස්කම් දැක්වීය. වයස අවුරුදු 18 දී ගණිතය සහ ප්‍රංශ භාෂාව පිළිබඳව උපාධියක් ද ඇය ලබා ගත්තාය. වයස අවුරුදු 18 දී ගණිතාංශයෙන් උපාධියක් ලබාගත් ප්‍රථම කාන්තාව බවට පත්වීමට ඇයට වාසනාව හිමි විය. අවුරුදු 19දී ගණිත ගුරුවරයකු ලෙස සේවය කළ ඇය, වයස අවුරුදු 20දී ආචාර්ය උපාධිය ලබා ගනුයේ එවැනි අඩු වයසකින් ආචාර්යය උපාධිය ලබාගත් ප්‍රථම කාන්තාව බවට පත්වෙමිනි. ඇගේ දක්ෂතාව කොපමණද යත් කිසිවෙකුටත් තේරුම් ගැනීමට නොහැකි වූ අයින්ස්ටයින්ගේ ගණිත ගැටලු පවා ඇය ඉතාමත් පහසුවෙන් විසඳනු ලැබීය.1939 වර්ෂයේදී විවාහ වනවිට ඇය ගුරුවරියක ලෙස සේවය කළාය.නමුත් විවාහයෙන් පසු ගුරු සේවාවෙන් ඉවත් වී ගණිත උපාධි වැඩසටහනට ඇතුළත් විය. පසුව එයින් ඉවත් වී ඇගේ පවුල් ජීවිතය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට ඇයට සිදුවිය.මේ සියල්ල අවසානයෙහි ගණිතඥයෙකු ලෙස ඇය සිය වෘත්තීය ජීවිතය තෝරාගන්නා ලදී.නමුත් එකල  ඇමරිකාවෙහි අප්‍රිකානුවන්ට සහ කාන්තාවන්ට ගණිතඥයෙකු ලෙස කටයුතු කිරීම ඉතාමත් දුෂ්කර කාර්යයක් විය. නමුත් එකල සමාජයෙහි තිබූ සියලු ඒකාකෘතීන් බිඳ දමමින් ඇය සිය අරමුණ කරා ළඟාවිය.ඇයගත් සියළු තීරණ පසුපස ඇගේ මවගේ නොසැලෙන ධෛර්යයද තිබූ බව පැවසිය යුතුමය.


1952 වර්ෂයේදී නාසා ආයතනයට ගණිතඥයන් අවශ්‍ය බවට ඉල්ලුම්පත් කැඳවා තිබිණි.ඇය ඒ සඳහා ඉහලින්ම සුදුසුකම් ලැබීය. මුල් කාලීනව කාන්තා ගණිතඥයින්ගේ සංචිතයේ වැඩකටයුතු කළ ඇය, ගුවන්යානා වලට අදාළ ගණිතමය කාර්යයන්, විශ්ලේෂණයන්, ජ්‍යාමිතිය ආදිය පිළිබඳව ඇගේ දැනුම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරවන ලදී. මෙම ක්ෂේත්‍රය ආශ්‍රිතව තිබූ ස්ත්‍රී පුරුෂ අසමානාතාවය ගැන නොතැකු කැත්‍රීන් සෑම විටම ඇගේ ආත්ම ශක්තිය විශ්වාස කරමින් ඉදිරියටට ගියාය.පසුකාලීනව පුරුෂ පාර්ශවය බහුලව සේවය කරන මාර්ගෝපදේශ සහ පාලක අංශයේ වැඩ කටයුතුවලට සහභාගි වූ ඇයගේ දක්ෂතා එහිදී ද කැපී පෙනිණි. 


කැත්‍රීන් විසින් අභ්‍යවකාශ ගමන් වලට අවශ්‍ය සංකීර්ණ ගණනය කිරීම් පරීක්ෂා කළාය. මේ ආකාරයට බොහෝමයක් අභ්‍යවකාශ යාන ගොඩ බැස්වීම, පියාසර මාර්ග,නැවත ආරක්ෂිතව පැමිණීමේ ගමන් මාර්ගය ගණනය  සඳහා ඇගේ දායකත්වය ලබා දෙන ලදී. 1909දී ඇපලෝ 11 ව්‍යාපෘතියේ දී සඳ මතට ගොඩ බැස්වීමෙහි ගණනය කිරීම් සිදුකිරීමට මෙන්ම ගමන් පථය විශ්ලේෂණය කිරීමටද ඇය දැක් වූ සහයෝගය අපමණය. වරක් නීල් ආම්ස්ට්‍රෝන් පවසා සිටියේ කැත්‍රීන් ජෝන්සන් නම් චරිතය නොමැති නම් ඔහුට සඳ මතට යෑමට නොහැකි වන බවය. එය සනාථ වනුයේ කැත්‍රීන් විසින් Orbital mechaninics සහ Astrodynamics සොයාගැනීම හේතුවෙනි.  1961 වර්ෂයේදී අභ්‍යවකාශයට ගිය ප්‍රථම ඇමෙරිකානුවා වන ඇලන් ෂෙපර්ඩ්ගේ අභ්‍යවකාශ පියාසැරිය සඳහා අවශ්‍යය ගමන්පථය ගණනය කළේද ඇය අතිනි.1961 සිඳුකළ බුධ ග්‍රහයාගේ මෙහෙයුම් ව්‍යාපෘතිය දියත්කිරීමේ කවුළුව සඳහා අවශ්‍ය ගණනය කිරීම්ද සිඳුවූයේ මෙම අතිදක්ෂ කාන්තාව අතිනි.

The space shuttle,Sattelite plans for a future human mission to mars වැනි ව්‍යාපෘති සඳහාද ඇයගේ දායකත්වය ලබාා දුන්නාය. ගඟනගාමීන්ට අභ්‍යවකාශයෙහි නිශ්චිත ස්ථානය සොයා ගැනීමට පහසු වන පරිදි තනි තරු නිරීක්‍ෂණය කරන පද්ධතියක් කැත්‍රීන් විසින් නිර්මාණය කරන ලදී.

එසේම පර්යේෂණ පත්‍රිකා 26කට අධික සංඛ්‍යාවක සමකතෘ ලෙස කටයුතු කළ ඇය අභ්‍යවකාශ විද්‍යාව සහ පරිගණකය පිළිබඳව පුරෝගාමී චරිතයක් විය.වර්ෂ 1958 සිට 1986හි විශ්‍රාම යන තෙක් අභ්‍යවකාශ තාක්ෂණවේදයකු ලෙස කටයුතු කරන ලදී.1971, 1980, 1984, 1985, 1988 යන වර්ෂයන් හීදී ලැන්ග්ලි පර්යේෂණ මධ්‍යස්ථානයේ විශේෂ සම්මානයක් හිමිකරගත්තාය. 1977 වර්ෂයේදී නාසා ආයතනය මඟින් දුන් ගෞරව සම්මානයකින්ද  ඇය පිදුම් ලැබුවාය. 2006 වර්ෂයේ Honory doctor of science ගෞරව නාමයද 2015 වර්ෂයේදී ඇමෙරිකානුවෙක් හට හිමිවන්නා වූ ඉහළම ඇගයීම වන ජනාධිපති නිදහස් පදක්කමද 2016 වර්ෂයේදී Arthur B.C. Walker II සම්මානයද ඇතුළු සම්මාන ගණනාවකින් ඇය පිදුම් ලැබුවාය.  ඇයට සිදුකරන ගෞරවයක් වශයෙන් නාසා ආයතනයෙහි ප්‍රධාන ගොඩනැගිලි ද්විත්වයක් ද 2016 වර්ෂයේ ලැන්ග්ලි පර්යේෂණ මධ්‍යස්ථානයෙහි නව ගොඩනැගිල්ලක්ද ඈ නමින් නම්කරන ලදී.


මේ ආකාරයට බලන කළ  "සෑම සාර්ථක පිරිමියෙකු පසුපසම කාන්තවක් සිටී." යන කියමන සනාථ කරමින් ආම්ස්ට්‍රෝන්ගේ සඳ ගමන පසුපස සිටි අදෘශ්‍යමාන හස්තය කැතරීන් ජොන්සන් ලෙස හැඳින්විය හැකිය.

කළු සුදු භේදයෙන් ඇමරිකාව දෙකඩවී තිබූ කාල වකවානුවක කළු ජාතික කාන්තාවක් හට මේසා විශාල සොයා ගැනීම් සිදුකළ ඇගේ නාමය ඉතිහාසයෙහි රන් අකුරින් ලියැවී හමාරය.


එච්.කේ.එස්.නවෝදා හඳරාගම.

Jessica Cox -,ජෙසිකා කොක්ස්


ජීවිතය යනු ලැබීම් නොලැබීම් ගොන්නක එකතුවකි.අයෙක් තමන් හට ජීවත් වීමට ප්‍රමාණවත් දෑ ලැබී තිබුණද සෘණාත්මක ආකල්පයන්ගෙන් පෙලෙන අතර තවත් අයෙක් නොලැබීම් පන්නරය කොට සිය ජීවිත ගමන හැඩගස්වා ගනියි.එලෙස නොලැබීම් පන්නරය  කරගත් දිරිය කතක් ලෙස Jessica Cox හැඳින්විය හැකිය.  1983 පෙබරවාරි මස 02 වන දින උපත ලද ඇය,උපත ලබනුයේම  දෙඅත් අහිමි ළදැරියක වශයෙනි. නමුත් ඒ පිළිබඳව තැකීමක් නොකළ ඇය, ලොව ප්‍රථම දෙඅත් අහිමි බලපත්‍රලාභී ගුවන් නියමුවරිය බවට පසුකලෙක ඉතිහාසයට එක්විය. 2004 වර්ෂයේදී ප්‍රථම වරට

තනි එන්ජිමක් සහිත ගුවන් යානයකින් පියාසර කිරීමට ජෙසිකා සමත් විය. පසුව 2008 ඔක්තෝබර් මස 10 වන දින ගුවන් නියමු බලපත්‍රය ඇය හට හිමිවිය. 2019 වර්ෂයේදී Ercoup 415-C ගුවන් යානයක් ලද ඇය එමඟින් "අබාධිතභාවය යනු නොහැකියාව නොවේ" යන තේමාව යටතේ Right footed foundation international මඟින් සිඳුකළ ව්‍යාපෘතියට ආධාර සැපයීමටද දායක වී ඇත.

ගුවනට පමණක් සීමා නොවූ ජෙසිකා සතු තවත් දක්ෂතා බොහෝය. ඇය මනෝ විද්‍යාව පිළිබඳව උපාධිධාරිනියකි.ඇය ධනාත්මක චින්තනය පිළිබඳ දක්ෂ කථිකයෙකි. ඇය ඇමෙරිකානු ටයිකොන්ඩෝ සංගයෙහි කළු පටි ලාහියෙකි.අවුරුදු 10 සිට ටයිකොන්ඩෝ පුහුණුව ලද ජෙසිකා, වසය 14 වනවිට සිය පළමු කළු පටිය ලබාගැනීමට සමත්විය. පසුව ඇරිසෝනා විශ්වවිද්‍යාලයෙහි ටයිකොන්ඩෝ සංගමයෙහි ද ඇය විසින් සමාජිකත්වය දැරුවාය. ඉන් නොනැවතුනු ජෙසිකා, Surfing, Scuba diving වැනි අංශයන්හීද දක්ෂතා දක්වා ඇත.  ඇය,2015 වර්ෂයේදී සිය ස්වයං චරිතාපදානය "Disaram Your Limit" නමින් එළි දැක්වීය.Inspiration award for women 2012, Most aspirational, Tucsonn woman of the year වැනි සම්මාන ගණනාවකින්ම පිදුම් ලද ඇය, දෛවයට පවා අභියෝග කළ දිරිය කතකි. පසුකලෙක නික් ස්පාර්ක් විසින් රචිත "රයිට් ෆුටඩ්" චිත්‍රපටයෙහි වස්තු බීජය වන්නෙද මේ අපූරු කාන්තාවයි.

 ජීවිත කාලය තුළ අපහටද බොහෝ අහිමිවීම් සිඳුවනු ඇත.එය අපට පමණක් නොව ලොවටම පොදු ධර්මතාවයකි.එවැනි අහිමිවීම් හමුවේ මනසින් දුර්වල වීම මානුෂ්‍ය ලක්ෂණයකි.  නමුත් අහිමි වීම් නොතකා සිය අනාගතය හැඩගස්වා ගැනීමේ හැකියාව  ඔබ සතුය. එයට එක් ආදර්ශයක් ලෙස Jessica Cox චරිතය හැඳින්විය හැකිය.


එච්.කේ.එස්.නවෝදා හඳරාගම.

ජාත්‍යන්තර සාම දිනය 2025




සාමය යනු යුද බියෙන් තොරවීමය.කිසියම් රටක මතුපිට ගැටුම් නැති වූ පමණින් එය සාමයයි කිව නොහැකිය.සෑම ජාතියක් අතරම මිත්‍රත්වය සහයෝගීතාව සබඳතා පවත්වාගෙන යාම වැදගත් වේ කිසියම් පාර්ශ්ව කිහිපයක් අතර පවතින ගෞරවය යුක්තිය සාධාරණත්වය යන ගුණාංග විදහා පාන සබඳතාවය සාමයයි. (කැලණිය විශ්ව විද්‍යාලයෙහි දර්ශන අධ්‍යනාංශයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචර්ය ඕෂධී හේරත්). ජාතින් අතර සාමය ඇති කිරීමට වෙන්කළ දිනය සාම දිනය යනුවෙන් සරලව හැඳින්විය හැකිය.වර්ෂ 1982 සිට සෑම සැප්තැම්බර් මසකම 21 වන දිනය ජාත්‍යන්තර සාම දිනය වශයෙන් නම්කර තිබේ. 1981 වර්ෂයේ එක්සත් රාජධානිය සහ කොස්ටරිකා රාජ්‍යය ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙදිනට ජාත්‍යන්තර සාම දිනය සැමරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කරන ලදී.විවිධ වර්ෂයන්හි විවිධ තේමාවන් ඔස්සේ සමරන ලෝක සාම දිනයෙහි 2025 තේමාව වනුයේ "සාමය සඳහා ක්‍රියාමාර්ග: ගෝලීය ඉලක්ක සඳහා අපගේ අභිලාෂයන්"  ("Action for peace.Our ambition for the global goals") යන්න වේ. 

රටක භෞමික අඛණ්ඩතාවය උදෙසා සාමය අත්‍යාවශ්‍ය සාධකයකි. එය රටක සංවර්ධනයටද බලපානු ලැබේ. සාමය නොමැති වූ විට ප්‍රචණ්ඩත්වය ඇතිවේ. අප රට තුළ මෙන්ම ලෝකයෙහිද විවිධ ජාතීන් වාසය කරයි. මෙකී විවිධත්වයේ හේතුවෙන් ඇතැම් අවස්ථාවන්හිදී බෙදීම් ඇතිවේ. අප රටෙහි තිස් වසරක පැවති යුද්ධය, සිංහල මුස්ලිම් කෝලාහලය, පාස්කු ප්‍රහාරය,රුසියානු යුක්‍රේන යුද්ධය, ඊශ්‍රායෙල් පලස්තීන යුද්ධය එකී විවිධත්වය අනුව බෙදී යාමේ ප්‍රතිඵල වේ. මෙම තත්ත්වය හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රට වලට සිදුවනුයේ සංවර්ධනය උදෙසා වැය කිරීමට තිබෙන මුදල් යුද්ධයෙන් අවතැන්වූවන් සහ යුද්ධයෙන් හානි සිදුවූ ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමට යෙදවීමය.එය ගෝලීය වශයෙන් ගත් කල සංවර්ධනය අඩාල කිරීමට පොදු හේතුවකි. අනෙත් කාරණාව නම්, ලෝකයෙහි රටවල් කුමන හෝ දාමයකින් බැදී පැවතීම ය. මේ හේතුවෙන් එක් රටක සාමයට බාධා වන කිසියම් හෝ කාරණාවක් සිදු වුවහොත් එය මුළු ලෝකයටම බලපෑමය. ලෝක ආර්ථිකයට, සෞඛ්‍යට, අධ්‍යාපනයට ,දේශපාලනයට ආදී විවිධ අංශයන්ට හානි සිඳුවේ. එබැවින් සමාජය තුළ තනි පුද්ගලයින් වශයෙන් මෙන්ම ලෝකය තුළ තනි රටවල් වශයෙන් සාමය පවත්වාගෙන යාමේ විශාල වගකීමක් අප උරමත පැටවී ඇත.

මිනිසා අතර කුමන ආකාරයෙහි විවිධත්වයක් පැවතිය ද එය පදනම් විරහිත දෙයක් බව තර්කයකින් තොරව දැක්විය හැකිය.එයට හොඳම උදාහරණය ආගමික විවිධත්වය වේ.
වරක් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පැවසූයේ සාමය යනු වටිනා ත්‍යාගයක් වන අතර එය ප්‍රවර්ධනය කර ආරක්ෂා කළ යුතු යුතුය යන්නය.එසේම වරක් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් වසර හතරකට පසු රෝහිනී නදියෙහි ජලය බෙදා ගැනීමට නොහැකිව යුද වැදීමට ගිය ශාක්‍ය කෝලිය දෙපිරිස සමගි කිරීමට ගොස් මෙසේ දේශනා කොට තිබිණ තිබිණි මිනිස් ජීවිත සමග සසඳන විට වටිනාකමින් අඩු ජලය නිසා සටන් වැද මිනිස් ජීවිත විනාශ කරන්නේ කුමකටද වැරදි වැටහීම් නිසා මිනිසුන් යුද්ධ කරනවා. ඒ නිසා හිරිහැර සිදුකර ගන්නවා. මේ ගැන සාවදානම සිතා බලා තීරණයක් ගත යුතුයි." එසේම ඉස්ලාම් ආගමෙහි මුහම්මත් තුමාණන් සහ අල් කුරාණයෙහි දැක්වෙන්නේද සමගියෙන් සහ සාමෙන් ජීවත් වීමට සෑම මිනිසකු සතුවම වගකීමක් තිබෙන බවය. සමස්තයක් වශයෙන් ගත් කළ සියලුම ආගම්වල පවසා ඇත්තේ ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී ස්වභාවය උතුම් බවය.කුමන ආකාරයේ විවිධතා මතුවුවද ඒ සියල්ල මිනිසා විසින් නිර්මාණය කරගන්නා ලද පුහු, පදනම්හි විරහිත විවිධත්වයන් බව පැහැදිලි වේ.එබැවින්සා මය මුල් කර ගනිමින් ගැටුම්වලින් තොර සදාචාර සම්පන්න සමාජයක් ලොවපුරා බිහි කර ගැනීම ඉතාමත් වැදගත් වේ.
තනි පුද්ගලයෙකු වශයෙන් ගත් කළ කල්හකාරී බව ප්‍රචණ්ඩත්වය මුළුමනින් ඉවත දමා ජාතිවාදය නොතකමින් එකම ලොවක් ලෙස ඉදිරියට යාමට අපි අදිටන් කර ගත යුතුවේ.


එච්.කේ.එස්.නවෝදා හඳරාගම

අපේ දවස- ඔක්තෝම්බර් 11- ජාත්‍යන්තර ගැහැණු දරුවන්ගේ දිනය.2025

  විවාහ නොවූ සියල්ලන්ම ගැහැණු දරුවන් වශයෙන් සැලකේ. ගැහැණු දරුවෙකු කියූ සැණින් අප සිතට නැගෙනුයේ විශාල වගකීමක් උරමත පැටවූවා වැනි හැඟීමකි. මන්ද...