Thursday, 25 September 2025

Jessica Cox -,ජෙසිකා කොක්ස්


ජීවිතය යනු ලැබීම් නොලැබීම් ගොන්නක එකතුවකි.අයෙක් තමන් හට ජීවත් වීමට ප්‍රමාණවත් දෑ ලැබී තිබුණද සෘණාත්මක ආකල්පයන්ගෙන් පෙලෙන අතර තවත් අයෙක් නොලැබීම් පන්නරය කොට සිය ජීවිත ගමන හැඩගස්වා ගනියි.එලෙස නොලැබීම් පන්නරය  කරගත් දිරිය කතක් ලෙස Jessica Cox හැඳින්විය හැකිය.  1983 පෙබරවාරි මස 02 වන දින උපත ලද ඇය,උපත ලබනුයේම  දෙඅත් අහිමි ළදැරියක වශයෙනි. නමුත් ඒ පිළිබඳව තැකීමක් නොකළ ඇය, ලොව ප්‍රථම දෙඅත් අහිමි බලපත්‍රලාභී ගුවන් නියමුවරිය බවට පසුකලෙක ඉතිහාසයට එක්විය. 2004 වර්ෂයේදී ප්‍රථම වරට

තනි එන්ජිමක් සහිත ගුවන් යානයකින් පියාසර කිරීමට ජෙසිකා සමත් විය. පසුව 2008 ඔක්තෝබර් මස 10 වන දින ගුවන් නියමු බලපත්‍රය ඇය හට හිමිවිය. 2019 වර්ෂයේදී Ercoup 415-C ගුවන් යානයක් ලද ඇය එමඟින් "අබාධිතභාවය යනු නොහැකියාව නොවේ" යන තේමාව යටතේ Right footed foundation international මඟින් සිඳුකළ ව්‍යාපෘතියට ආධාර සැපයීමටද දායක වී ඇත.

ගුවනට පමණක් සීමා නොවූ ජෙසිකා සතු තවත් දක්ෂතා බොහෝය. ඇය මනෝ විද්‍යාව පිළිබඳව උපාධිධාරිනියකි.ඇය ධනාත්මක චින්තනය පිළිබඳ දක්ෂ කථිකයෙකි. ඇය ඇමෙරිකානු ටයිකොන්ඩෝ සංගයෙහි කළු පටි ලාහියෙකි.අවුරුදු 10 සිට ටයිකොන්ඩෝ පුහුණුව ලද ජෙසිකා, වසය 14 වනවිට සිය පළමු කළු පටිය ලබාගැනීමට සමත්විය. පසුව ඇරිසෝනා විශ්වවිද්‍යාලයෙහි ටයිකොන්ඩෝ සංගමයෙහි ද ඇය විසින් සමාජිකත්වය දැරුවාය. ඉන් නොනැවතුනු ජෙසිකා, Surfing, Scuba diving වැනි අංශයන්හීද දක්ෂතා දක්වා ඇත.  ඇය,2015 වර්ෂයේදී සිය ස්වයං චරිතාපදානය "Disaram Your Limit" නමින් එළි දැක්වීය.Inspiration award for women 2012, Most aspirational, Tucsonn woman of the year වැනි සම්මාන ගණනාවකින්ම පිදුම් ලද ඇය, දෛවයට පවා අභියෝග කළ දිරිය කතකි. පසුකලෙක නික් ස්පාර්ක් විසින් රචිත "රයිට් ෆුටඩ්" චිත්‍රපටයෙහි වස්තු බීජය වන්නෙද මේ අපූරු කාන්තාවයි.

 ජීවිත කාලය තුළ අපහටද බොහෝ අහිමිවීම් සිඳුවනු ඇත.එය අපට පමණක් නොව ලොවටම පොදු ධර්මතාවයකි.එවැනි අහිමිවීම් හමුවේ මනසින් දුර්වල වීම මානුෂ්‍ය ලක්ෂණයකි.  නමුත් අහිමි වීම් නොතකා සිය අනාගතය හැඩගස්වා ගැනීමේ හැකියාව  ඔබ සතුය. එයට එක් ආදර්ශයක් ලෙස Jessica Cox චරිතය හැඳින්විය හැකිය.


එච්.කේ.එස්.නවෝදා හඳරාගම.

No comments:

Post a Comment

සඳ ගමනේ සැඟවුණු සඳ-ක්‍රියෝලා කැත්‍රීන් ජෝන්සන්

වර්ෂ 1918 අගෝස්තු මස 26 වන දින බටහිර වර්ජිනියාවේ වයිට් සල්ෆර් ස්ප්‍රින්ග් හී උපත ලැබූ ක්‍රියෝලා කැත්‍රීන් ජෝන්සන් දරුවන් සිව් දෙනෙකුගෙන් යුත...